Corporate report

ශ්‍රී ලංකාව - මානව හිමිකම් ප්රමුඛතා රටක්

Updated 8 February 2017

ශ්‍රී ලංකා - මානව හිමිකම් ප්රමුඛතා රටක්

අවධානය යොමු කළ යුතු ඇතැම් දෑ තිබුණ ද සමස්තයක් වශයෙන් ගත් කල 2015 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වයෙහි දියුණුවක් දක්නට තිබුණි. මෑත අවරුදුවල පැවති ඍණාත්මක ප්‍රවනතාව ආපසු හරවමින් ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රකාශනයේ නිදහස (මාධ්‍ය ඇතුළුව), යෑම් ඊම් නිදහස දියුණු කිරීමේ, අන්තර් ප්‍රජා ආතතීන් අඩු කිරීමේ හා මානව හිමිකම් කොමිසම වැනි ආයතනවල ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කිරීමේ ධනාත්මක පියවර ගෙන තිබේ. එසේම ආණ්ඩුව ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමින් පසු ගිය ඔක්තෝබරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (HRC) දී යෝජනාවකට සම-අනුග්‍රහය දක්වමින් අතීත මානව හිමිකම් අපයෝජන හා උල්ලංඝනයන් පිළිබඳ දිගු කලක් තිස්සේ පවතින චෝදනාවන්ට ආමන්ත්‍රණය කිරීමේ කැමැත්ත හඟවා තිබේ. ප්‍රවේශයේ ධනාත්මක වෙනසක් තුළ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) හා එක්සත් ජාතීන්ගේ මණ්ඩල ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග ධනාත්මක කාර්යාවලියක නිරතවී ඇත.

2015 දී එක්සත් රාජධානිය ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිරි ගැන්වීමට ක්‍රියා කළ අතර ඊට ආධාර කළේ ය. එක්සත් රාජධානිය හමුදාව අත්කර ගෙන තිබෙන ඉඩම් ආපසු දීම, දමිළ ඩයස්පෝරා සංවිධානවල තහනම් ඉවත් කිරීම, හා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමෙන් තොරව දිගු කාලීනව රඳවා ගෙන සිටින රැඳවියන් නිදහස් කිරීම වැනි ප්‍රධාන ප්‍රශ්ණ ගණනාවක ප්‍රගතිය උදෙසා ආණ්ඩුව යොමු කරවීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයීය විමර්ශනය (OISL) වෙනුවෙන් ශක්තිමත්ව පෙනී සිටියෙකු වූ එක්සත් රාජධානිය එම විමර්ශනයේ දී පිළිබිඹු වූ නිර්දේශ අඩංගු වූ යෝජනාව සම්මත කිරීමේ දී ඊට බෙහෙවින් උපකාරී විය. මෙම දේශපාලන ප්‍රයත්නයට අපි ඉලක්ක ගත අරමුදල් සැපයීම හරහා ආධාර කළෙමු. ඒවා අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී චන්ද දායක සහභාගිත්වය වැඩි කිරීමට ද දේශීය නිරීක්ෂණ ප්‍රයත්නයන් සඳහාද ආධාර විය. එසේම අපි පොලිස් ප්‍රමිතීන් හා පොලිස්-ප්‍රජා සම්බන්ධතාවන් වැඩි දියුණු කිරීමටද රට මුළුල්ලෙහි අන්තර් ආගමික සංවාද ප්‍රවර්ධනය කිරීමට ද වැඩ කළෙමු.

මෙම ධනාත්මක වෙනස්කම්වලින් ඇතැම් ඒවා උතුර හා නැගෙනහිර දී දක්නට ලැබුණේ අඩුවෙනි. මානව හිමිකම් ආරක්ෂකයෝ 2015 හි කෙරුණු හිරිහැර හා දැඩි පරීක්ෂාවන් පිළිබඳව අඛණ්ඩව වාර්තා කළහ. මෙම කාරණය නොවැම්බරයේ කළ සිය සංචාරයේ දී බලහත්කාර හා අනිච්ඡානුග අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායම විසින් මතු කරන ලද කරුණකි. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයීය විමර්ශන (OISL) වාර්තාව වධ හිංසනය හා ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව මත වු හිංසනය පිළිබඳව අඛණ්ඩව ලැබෙන වාර්තා ඇතුළුව තවමත් පවතින මානව හිමිකම් ප්‍රශ්න ගණනාවක් ද මතුකර දක්වා තිබේ. මේවා සහ මානව හිමිකම් පිළිබඳ අනෙකුත් උල්ලංඝනයන් පිළිබඳ චෝදනා විමර්ශනය කරන්නැයි එක්සත් රාජධානිය ශ්රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙන අතර මේ ක්ෂේත්‍රවල ප්‍රගතිය වෙනුවෙන් අඛණ්ඩවම දිරිගන්වනු ඇත.

2016 දී ධනාත්මක ගමන් පථය අඛණ්ඩව ඉදිරියට ඇදෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මෙය ශ්‍රී ලංකාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත් භූමිකාවක් රඟ පාන්නට තිබෙන මොහොතකි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ජූනිවල පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 32 වෙනි සැසියේ දී සිය නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ එහි ප්‍රගති ඇගයුම ඉදිරිපත් කරනු ඇත. මානව හිමිකම් කවුන්සිලයට දෙන ලද එහි පොරොන්දු ඉටු කිරීම සඳහා ද, වගවීමට ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන් පුළුල් සහයෝගයක් ගොඩ නගා ගැනීමෙහිලා කඩිනම් ප්‍රගතියක් ඇති කර ගැනීම සඳහා ද, අපි ශ්‍රී ලංකාව දිරි ගැන්වීම හා ආධාර කිරීම අඛණ්ඩවම කර ගෙන යන්නෙමු. ප්‍රතිසන්ධානය හා මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා අපේ සහයෝගය අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වර්ෂ තුන පුරා පවුම් මිලියන 6. 6 ක් ලබා දීමට අගමැතිවරයා පොරොන්දු වී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව සමග අපේ කටයුතු අරමුණු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම ද ආරක්ෂක අංශය ප්‍රතිසංස්කරණය කිරීම හා එක්සත් රාජධානි අත්දැකීම විශේෂඥතාව බෙදා හදා ගැනීම ද වේ.