Corporate report

මානව හිමිකම් ප්‍රමුඛතා රට පිලිබඳ යාවත්කාලීන වාර්තාව 2016 ජනවාරි සිට ජූනි දක්වා

Updated 8 February 2017

2016 ජනවාරි සහ 2016 ජුනි යන කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අඛණ්ඩව වර්ධනය විය. කෙසේ වුවද 2015 ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරන ලද 30/1 යෝජනා සම්මතය තුළ දෙන ලද ප්‍රතිඥාවන් සපුරාලීම සඳහා සිදු කළ යුතු දෑ බොහෝ ඉතිරිව ඇත.

2016 ජනවාරි මාසයේදී පවත්වන ලද මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් 30/1 යෝජනා සම්මතයට අදාළව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කළේය. යෝජනා සම්මතයේ අඩංගු ප්‍රධාන ප්‍රතිඥාවන් සමහරක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් ගන්නා ලද පියවර මගින් මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කළ යුතු බව ඔහු පැවසීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමග රජය විසින් ධනාත්මක හා ඵලදායී ලෙස කටයුතු කිරීම පිළිබඳව ඔහු ප්‍රසාදය පළ කළ අතර වින්දිතයන් හා සුළු ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා ඉදිරි මාස තුළදී වැඩිදුරටත් ප්‍රත්‍යක්ෂ පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය. අපගේ ප්‍රකාශනය තුළ එක්සත් රාජධානිය විසින් මානව හිමිකම් කවුන්සිලයේ ඇගයීම සහ ගැටුම් වල ඉතිහාසය සොයා ඒවායේ හේතුසාධක සඳහා පිළියම් යෙදීමට ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව දක්වන ලද අධිෂ්ඨානය පිළිගනු ලැබුණි.

පසුගිය මාස 6 තුළදී සිවිල් සමාජ හා මානව හිමිකම් ආරක්ෂකයන් සදහා වඩාත් හොද වාතාවරණයක් නිර්මාණය වී තිබුණි. වඩාත් පාරදෘශ්‍යභාවයෙන් හා වගවීමෙන් යුතු රජයක් බිහි කිරීම සදහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත සමමත කිරීම සාධනීය පියවරක් විය. බලධාරීන්ගේ යම් යම් අංශ විසින් විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාමට බාධා ඇති කරනු ලබන බවට මත පළ වුවද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් විම ඇතුළු ප්‍රධාන පෙළේ මිනීමැරුම් ගැන සහ අතුරුදන්වීම් පිළිබඳ විමර්ශන කටයුතුවල ප්‍රගතියක් ඇති වී ඇත.

1996 වර්ෂයේදී දෙමළ ජාතික සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් 4 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.

සියළුම පුද්ගලයන් බලෙන් අතුරුදහන් කරනු ලැබීමෙන් ආරක්ෂා කිරීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව අපරානුමත කළේය. මෙම අපරානුමත කිරීම එක්සත් රාජධානිය විසින් ප්‍රශංසාවට ලක් කරනු ලැබූ අතර එවැනි පුද්ගලයන් බලෙන් අතුරුදහන් වීම නැවත සිදුවීම නැවත සිදුවීම වැලැක්වීම සහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට රජයට අවධාරණය කරන ලදී. යුද්ධය පැවති සමය තුළදී අතුරුදහන් වූ පුද්ගලයන් 65,000කට අතුරුදහන්වීම පිළිබ`ද සහතිකය නිකුත් කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමට රජය විසින් එම මාසයේදීම අනුමැතිය ලබා දෙන ලදී. අදාළ පවුල් සඳහා තම උරුම, හිමිකම්, වන්දි, සමාජ සුභසාධන සහ සුභසාධන දීමනා හා විශ්‍රාමවැටුප් ලබා ගැනීමට හැකියාව ලබා දෙන මෙම පියවර එක්සත් රාජධානිය විසින් පිළිගනු ලැබිණි.

මාර්තු මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන් ආරම්භ කරන ලද අතර මෙම වර්ෂය අවසානය වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සම්මත කිරීමට රජයන් ඉලක්ක කරනු ලැබේ. වඩාත් දියුණු මානව හිමිකම් ආරක්ෂණයන් හඳුන්වාදීම සඳහා මෙමගින් ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවන් හිමි වනු ඇත. පසුගිය මාස කිහිපය තුළදී ජාතිකවාදී ව්‍යාපාරවල (”සිංහලේ” වැනි) වර්ධනයන් සිදුවී ඇති අතර එම ව්‍යාපාර විසින් සුළු ආගමික කොටස් සහ ස්ත්‍රී සමලිංගික, පුරුෂ සමලිංගික, ද්විලිංගික සහ විෂම ලිංගික කණ්ඩායම් ඉලක්ක කර ඇත. එක්සත් රාජධානිය විසින් මෙම ගැටළුව පිළිබඳව රජය සමඟ සාකච්ඡා කරනු ලැබූ අතර සියලූම ආකාරවල වෙනස්කොට සැලකීම් නතර කිරීම සඳහා පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින ලදී.

වධහිංසා සහ වෙනත් කෲර අමානුෂික හා අවමන් සහගත සැලකීම හා දඩුවම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවාන් මෙන්ඩෙෂ් මහතා අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. වධහිංසා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මෙන්ඩෙෂ් මහතා කරුණු මතු කළ අතර ප්‍රධාන ආයතනවල පුළුල් ප්‍රතිසංස්කරණයක් ඇති කරන ලෙසට නිර්දේශ කරන ලදී. රටෙහි ප්‍රධාන ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීමට වගබලා ගැනීම සහ වධහිංසා හෝ හිරිහැර සහගත සැලකීම් සම්බන්ධයෙන් නගනු ලබන සෑම චෝදනාවක්ම විමර්ශනය කිරීම ඇතුළු ඔහුගේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට අපි රජයට අවධාරණය කර ඇත. වධහිංසා ඇතුළු මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ අවදානම අඩු කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය පිලිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව වඩාත් දක්ෂ, වෘත්තියමය හා වගවීමක් සහිත පොලිස් බලකායක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන උත්සාහයන්ට එක්සත් රාජධානිය විසින් අඛණ්ඩව සහාය ලබා දෙන ලදී.

යුද්ධවලදී ලිංගික ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වු ප්‍රතිඥා ප්‍රකාශය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සහතික කළේය. ඉතා දරුණු ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වළකාලීම සඳහා කටයුතු කිරීමට අප විසින් රජය දිරිමත් කරනු ලැබ ඇති අතර එවැනි සිද්ධීන් වාර්තා කිරීම සහ ඒ සඳහා රජය විසින් ක්‍රියා කළ යුතු බවට අවධාරණය කරනු ලබන ව්‍යාපෘති සඳහා අප විසින් මුදල් සම්පාදනය කර ඇත.

විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අභියෝගකාරී තත්ත්වයන් තවමත් පවතී. ජනවාරි හා ජුනි මාසවලදී තවදුරටත් ඉඩම් නිදහස් කරනු ලබන බවට රජය විසින් නිවේදනය කරන ලද අතර යුධ හමුදාව සමහර ප්‍රදේශවල සිවිල් ජන ජිවිතයට අදාළ කටයුතු වලින් ඉවත් වන බවට පෙනී ගොස් ඇත. ඉඩම් නිදහස් කරන ලෙසත් උතුරු ප්‍රදේශය තුළ යුධ හමුදා පාලන කටයුතු නතර කිරීම කඩිනම් කරන ලෙසත් එක්සත් රාජධානිය විසින් නිරන්තරවම ඉල්ලා සිටිනු ලැබ ඇත. මානව හිමකම් පිළිබඳ මහකොමසාරිස්වරයා සහ වධහිංසාව පිළිබඳ විශේෂ නියෝජිතවරයා විසින් පෙන්වා දෙන ලද ආකාරයට පසුගිය රජය පැවති කාලයට වඩා අඩුවෙන් සිදු වුවද ආරක්ෂක හමුදා විසින් සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව සිද්ධි රාජ්‍ය නොවන සංවිධාන සංස්ථාව හා මාධ්‍ය විසින් අඛණ්ඩව වාර්තා කරනු ලැබ ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් ඒ වෙනුවට අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් ආරක්ෂා කිරීම, වධහිංසා හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීමට පුද්ගලයන් ලක් කිරීම තහනම් කිරීම, සහ නීතිමය සහාය ලබාගැනීමට හැකියාව ලබාදීම ඇතුඵ අන්තර්ජාතික ප්‍රමිතීන් සපුරාලනු ලබන නීති සම්මත කරන ලෙසට එක්සත් රාජධානිය විසින් අවධාරණය කරනු ලැබ ඇත. පුද්ගලයන් 250 දෙනෙකු පමණ තවමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ගෙන සිටිනු ලබන බවට විශ්වාස කෙරේ. නඩු විභාග කටයුතු කඩිනම් කරන බවට රජය විසින් පොරොන්දු වී තිබුනද පසුගිය මාස 6 තුළ ඒ පිලිබඳව ලැබී ඇති ප්‍රගතිය අල්ප වේ. යාපනය නගරයෙන් පුපුරන ද්‍රව්‍ය අඩංගු ඇඳුම් සොයා ගැනීමෙන් අනතුරුව මෙම වර්ෂයේ පළමු මාස 6 තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අළුතින් අත්අඩංගුවට ගැනීම් 25 ක් සිදු කර ඇති බවට වාර්තා වී ඇති අතර මෙම සමහර අත් අඩංගුවට ගැනීමේ නීතිමය ක්‍රියාපටිපාටින්ට අනුකූලව සිදු කර නොමැති බවට චෝදනා එල්ල වී ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීම් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව කටයුතු කරන ලෙසට සියලූම ආරක්ෂක හමුදාවන් වෙත ජනාධිපතිතුමා විසින් මාර්ගෝපදේශ ලබා දී ඇත.

එවකට ආසියානු විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය හියුගෝ ස්වයර් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. තම තුන් දින සංචාරය තුළදී ස්වයර් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ දෙමළ ජාතික සංධාන නායක රාජවරෝදියම් සම්බන්ධන් යන මහත්වරුන් මුණ ගැසුණේය. සිවිල් යුද්ධය නිම කළ දින සිටම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සහ සංහිඳියාව ඇති කිරීමට ශ්‍රී ලංකාව දක්වන ලද කැපවීම සහ මේ දක්වා අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ස්වයර් මහතා විසින් විමසන ලද අතර සියළුම ශ්‍රී ලාංකිකයන් සඳහා කල්පවත්නා සාමයක් ලබා ගැනීමට සියළුම පාර්ශ්වයන් එකට එකතු වී කටයුතු කළ යුතු බවට ඔහු අවධාරණය කළේය. එක්සත් රාජධානියේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන මගින් ප්‍රජාවන්ට තම ගම්බිම් කරා නැවත පැමිණීමට උපකාර වන ආකාරයට උතුරේ සංචාරය කරමින් නිරික්ෂණය කළ ඔහු නැවත පදිංචි වී ඇති පවුල් විසින් මුහුණ දෙනු ලබන ගැටළුවලටද අවධානය යොමු කළේය.

නේවාසික නොවන එක්සත් රාජධානියේ ආරක්ෂක උපදේශකයෙකු මෑතකදී පත් කරනු ලැබීම පිළිබ`දවද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. ශ්‍රී ලංකාව තුළ දිගු කලක් පැවති යුද්ධයට පාදක වූ හේතු සඳහා විසඳුම් සෙවීමට යුධ හමුදාව විසින් සුවිශේෂී කාර්යභාරයන් ඉටු කළ යුතු අතර මානව හිමිකම් සුරැකීම ඇතුළුව සංහිඳියාව ඇති කිරීම සඳහා දෙන ලද ප්‍රතිඥාවන් සපුරාලීම සිදු කළ යුතු වන්නේය. අන්තර්ජාතික නීතිය හා මානව හිමිකම් අවබෝධ කර ගැනීම සහ එවකට අනුගතව කටයුතු කිරීම ඇතුළුව ක්‍රමෝපායික නායකත්ව පුහුණුවත් යුධ හමුදාවට ලබා දීමට පුහුණු වැඩසටහන් මෙම වර්ෂය මුලදී එක්සත් රාජධානිය විසින් අරඹන ලදී.

2016 වර්ෂයේ ඉතිරි කාලය තුළදී ධනාත්මක මාවතක ඉදිරියට යනු ඇතැයි සහ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට රජය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීම සඳහා තමන් විසින් ලබා දෙන ලද ප්‍රතිඥාවන් සපුරාලීමට සහ අතීතයේදී ඇති වූ ගැටළු සඳහා විසඳුම් සෙවීමට ශ්‍රී ලංකාව දිරිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට එක්සත් රාජධානිය විසින් දිගටම කටයුතු කරනු ඇත. වධහිංසා වැළැක්වීම, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නිම කිරීම, සංක්‍රමණික යුක්තිය සහ අන්තර් සාමයික කටයුතු ඇතුළුව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අපගේ ව්‍යාපෘති කටයුතු සදහා අඛණ්ඩව මූල්‍ය අනුග්‍රහය ලබාදීමට අපි කටයුතු කරමු.